රුපියල් 70,000 ක් වටිනා පයිප්ප ආවරණයක් සොරකම් කිරීම සහ වගා භූමියකට ඇතුළු වී රුපියල් 75,000ක් වටිනා යකඩ කම්බි තොගයක් සොරකම් කිරීම යන අපරාධ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර සමන්පුර ප්රදේශයේ පදිංචි හිටපු කොස්තාපල්වරයෙකි.
පෞද්ගලික ඉංජිනේරු සමාගමකට අයත් අනුරාධපුර පොලිස් වසමේ පාලු ස්ථානයක දමා තිබූ ජල නල ආවරණයක් සහ විවෘත වගා භූමියක ගබඩා කර තිබූ යකඩ කම්බි තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා 2019 වර්ෂයේ දී සිදු කරන ලද අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් සේවයෙන් ඉවත් කර ඇති අයෙකු බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.