කොළඹ 02, ධර්මපාල මාවතේ ඊයේ (12) අලුයම 2.45 ට පමණ සැකකටයුතු ලෙස ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමට ගිය කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුට සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
එම පහරදීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම කොස්තාපල්වරයා සේවය නිමවා නිවෙස බලා යමින් සිටියදී සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයකු පිළිබදව සැක සිතී ඔහු පසුපස ගමින් කිරීමෙන් අනතුරුව හුණුපිටිය හරස් පාර ප්‍රදේශයේදී සැකකරු අල්ලා තමන් පොලිස් නිලධාරියකු බව පවසා තොරතුරු විමසා පරීක්ෂා කිරීමට යාමේදී තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
එහිදී තුවාල ලැබූ කොස්තාපල්වරයා සැත්කමකට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සහ පොලිස් නිල සුනඛයකු මාර්ගයෙන් විමර්ශන ආරම්භ කර තිබූ අතර සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසි කියයි.
කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනෙරත් මහතාගේ මෙහෙයවීම මත කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.