සමස්ත රටටම ඊයේ පෙරවරුවේ විදුලිය විසන්ධි වීමට හේතුව ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම සහ සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීම බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජීනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනය පහත දැක්වේ.
“ඊයේ දින පෙරවරු 11.15ට පමණ දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීමක් සිදු විය.
මේ සඳහා බලපාන ලද මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත්ය. කෙසේ නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතුවේ.
පානදුර විදුලි උපපොලේ 33 kV පෝෂක අංගනය (33 kV Bus Bar) ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි වැටීමක් සමඟ අඩු විදුලි ඉල්ලුම නිසා හා ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසා ස්ථායිතාවය අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතිය, අසමතුලිත වී, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි විය.
ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියද, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගත හැකි විය.
කෙසේ නමුත් අද දින ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳ වැටීම වළක්වා ගත නොහැකි වූ බව අනුමාන කෙරේ.
මෙවැනි විදුලි බිඳ වැටුම් ඉදිරියේදී සිදු නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් (Battery Storages) හා ජල පොම්ප බලාගාර (Pump Storage) වලට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුලබල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යංශය එක්ව කටයුතු කරමින් පවතී.
ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලනය අංශය හා අනෙකුත් අංශ යුහුසුළුව කටයුතු කරමින් සමස්ත විදුලි පද්ධතිය කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියා කරන ලදී.
තවද මේ සම්බන්ධයෙන් ඇතැම් වැරදි මත සමාජ ගත කිරීමට යම් පාර්ශව උත්සාහ ගන්නා බවද අප විසින් නිරීක්ෂණය කර ඇත”