ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවආරච්චි මහතා අත්අඩංගුවට ගැනීමට සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ලබන 14 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි යැවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (7දා) නියෝග කළාය.
2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී තමන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස හරහා ආනයනය කරන ලද දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ තොගයක් අවභාවිතය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බැවින් තමන් අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නන්දසිරි මල්ලවආරච්චි මහතා ගොනුකර තිබූ ඉල්ලුම් පත්‍රයක් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය. මහින්දානන්ද අනුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මේ වනවිට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වන එම සිද්ධිය සම්බන්ධයෙන් තමා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි ලබාදී තිබියදීත් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සූදානමක් පවතින බව ඒ මහතා එම අපේක්ෂිත ඇප අයැදුම මගින් කියා තිබිණි.
නීතිඥ තමිලා පෙරේරා මහත්මිය මගින් ගොනු කර තිබූ එම පැමිණිල්ලේ පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සංජය මාරඹේ, ගීත් කරුණාරත්න හා නීතිඥ ජයන් කරුණාරත්න යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.