වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
මලෛයග තමිළර් ප්‍රජාව සමඟ පසුගිය (06) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
එම ආපදා අවධානම් පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වැසි කාලය සඳහා ආරක්ෂිත ස්ථාන වෙත කැඳවා අධ්‍යාපන කටයුතු කරන බවත්, වර්ෂාව අවසන් වූ පසු නැවත එම පාසල් වෙත යැවෙන බවත් අමාත්‍යවරයා කීය.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හරහා ආපදා අවදානම් සහිත සහ ආරක්ෂිත භූමිය හඳුනාගෙන, ඉතා කඩිනමින් මෙම පාසල් සුදුසු ස්ථානවල ස්ථානගත කිරීමටත්, ඒ හරහා දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කර ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමටත් සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
වතුකරයේ පාසල් 864ක් තිබෙන අතර, එයින් පාසල් 153ක් සඳහා පමණක් ඉඩම් අයිතිය තිබෙන බව මලෛයග තමිළර් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු අනාවරණය කළ අතර, එම අවස්ථාවේදී අමාත්‍යවරයා කියා සිටියේ පාසල්වල ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව වතු පාසල් සඳහා පමණක් සීමා වූ දෙයක් නොවන බවත්, සමස්ත පාසල් දහස් ගණනකට මෙම ඉඩම් අයිතියේ ගැටළුව පවතින බවත්ය.
එබැවින්, එම සියලු පාසල්වලට ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා සිදුකරන අතර, ඉදිරි කාලය තුළ එම ගැටළුව විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.