කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසයි.
රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අත්‍යවශ්‍ය බොහෝ ඖෂධ සහ උපකරණ රෝගීන් පෞද්ගලික මුදලින් වාට්ටු වෙත සැපයිය යුතු තත්වයක් උත්ගත වී ඇති බවත් මෙම තත්වය හේතුවෙන් රෝගීන් වැඩි පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සඳහන් කරති.
කොළඹ ජාතික රෝහලේ බොහෝ වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට පෞද්ගලිකව රැගෙන එන ලෙස ඖෂධ සහ උපකරණ වර්ග ලියා ලබාදෙන බව කියන රෝහල් සේවකයෝ ඒවා මිලදීගැනීම සඳහා බොහෝ රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් සතුව මුදල් නොමැතිවීමෙන් අපහසුතාවට පත්වන ආකාරය දැකගත හැකි බව ද සඳහන් කළහ. ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග සහ උපකරණ රෝගීන්ගෙන් පෞද්ගලික ගෙන්වා ගන්නා බවත් එම ඇතැම් ඖෂධ සහ උපකරණ රුපියල් 25,000, 30,000 හෝ ඊටත් වඩා මුදල් ගෙවා ගැනීමට සිදුව ඇති බවත් රෝහල් සේවකයෝ කියති.
කොළඹ ජාතික රෝහලේ බොහෝ වට්ටුවලින් ශල්‍යකර්මවලදී මැහුම් දැමීමට යොදෙන නූල් ද රෝගීන්ගෙන් ගෙන්වා ගන්නා බවත් මෙම තත්වයට ආණ්ඩුව මැදිහත් නොවුණ හොත් ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් රෝහල් සේවකයෝ වැඩි දුරටත් පවසති.
බොහෝ මූලික රෝහල්වල සායන සඳහා පැමිණෙන රෝගීන්ට සැපයීම සඳහා බෙහෙත් නොමැති බවත් දියවැඩියා රෝගීන්ට දෙන ‘ඉන්සියුලින්’ දැඩි හිඟයක් පවතින බවත් වැඩි දුරටත් දැනගන්න තිබේ