බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්ෂණ සහ දඬුවම් නතර කර ගැනීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය වැල්වැටිතුරේදී අද (31)පැවසීය.
කවුරු එකතු වුනත් දූෂිතයන්ට දඬුවම් දීම නතර කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා උඩ සිටින අය එකතු වුනාට යට ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බව පැවසීය.
ජනතාව ආණ්ඩුව සමග සිටින තුරු එම එකතුවීම් සාර්ථක වන්නේ නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
යාපනයේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සියලු ජාති ආගම් සංස්කෘතීන් එකතු කරගෙන සමරන ජාතියේ මහා මංගල්‍යයක් ඔක්තෝම්බර් මාසයේදී සංවිධාන කර තිබෙන බවයි.
එම ජාතියේ මහා මංගල්‍යය පිළිබඳ අයවැය ලේඛනයටද ඇතුළත් කර තිබෙන බව කී ජනාධිපතිවරයා මෙතෙක් ජාතික, ආගමික, සංස්කෘතික උත්සව වෙන වෙනම සැමරුවත් ශ්‍රී ලාංකික ජාතියම එකට සමරන උත්සවයක් නොතිබූ හෙයින් ඔක්තෝම්බර් මාසයේදී සියලු දෙනා එක්ව එම මහා මංගල්‍යය සමරන බව සඳහන් කළේය.
සියලු ජාතීන්ගේ සංස්කෘතිය, ආගම, ජාතිකත්වය , ආහාර රටා ,ජීවන රටා ,සංගීත, නාට්‍ය, කාව්‍ය ආදී සියලු දෑ එම ජාතික උත්සවයේදී සමරනු ලබන බවද ජනාධිපතිවරයා කීය.
කන්කසන්තුරය, පරාන්තන්,සහ මාන්කුලම් කේන්ද්‍ර කර ගනිමින් යාපනයේ අලුත් කර්මාන්ත පුර තුනක් ආරම්භ කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.ඒවායේ ආයෝජනය කරන්නැයි විදෙස් ගත ලාංකිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.