ජපානයේ රැඳී සිටින මෙරට පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු සමඟ එරටදී ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සීදූව ලියනගේමුල්ලේ ව්‍යාපාරික පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බවට සැක කරන තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ.
එම පාතාලයේ අපරාධකරු විසින් දුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බව විමර්ශන කණ්ඩායම් සැක කරයි.
මෙම වෙඩි තැබීම පසුගියදා (28) සවස සිදුවන්නේ සීදූව ලියනගේමුල්ලේ පිහිටි ව්‍යාපාරිකයාගේ නිවෙස පිහිටි ගෙවත්තේදීය. මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් ටී-56 ගිනිඅවි දෙකකින් ව්‍යාපාරික පියාටත් පුතුන් දෙදෙනාටත් වෙඩි තබා පලා ගොස් තිබිණි.
මෙම වෙඩි තැබීමෙන් බස් රථ හිමිකරුවකු වන පොලියට මුදල් දීමේ ව්‍යාපාරයක නිරත එම ව්‍යාපාරික පවුලේ වැඩිමලා වන එන්.ටී.එයි. ප්‍රසන්න (54) මහතා මිය ගියේය.
නොයෙල් ප්‍රනාන්දු නමැති 74 හැවිරිදි පියා සහ වසන්ත ප්‍රනාන්දු නමැති 45 හැවිරිදි පවුලේ බාලයා වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබීය. ඔවුන් දෙදෙනා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙතෙක් කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව විමර්ශන කණ්ඩායම් විශ්වාස කරනු ලබන්නේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය මෙම ව්‍යාපාරික පවුලේ බාලයා වන වසන්ත ප්‍රනාන්දු මහතා බවය. ඔහු ජපානයේ කාන්තාවක සමඟ විවාහ වී ජපානයේ වැඩි කාලයක් පදිංචිව සිටින අයකු බවට ද තොරතුරු විමර්ශන කණ්ඩායම් විසින් හෙළි කරගෙන ඇත. ජපානයේ රැඳී සිටින මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ ප්‍රබල අපරාධකරු ආරවුලක් ඇති කරගෙන ඇත්තේ ඔහු සමඟ බව සඳහන්ය.
ව්‍යාපාරික පවුලට වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරුවන් ඔවුන් පැමිණි මෝටර් රථය අතරමඟදී ගිනි තබා වෙනත් වාහනයක නැඟී පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. අධිවේගි මාර්ගය ඔස්සේ එම පිරිස දකුණු පළාතට පලා ගොස් ඇති බවට සැක කරන තොරතුරු ද විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ.
එසේ පලා ගිය පුද්ගලයන් හඳුනා ගැනීමට මේ වන විටත් විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ජපානයේ සිදුවූ බව කියන ගැටුම ගැන වැඩි තොරතුරක් තුවාල ලබා සිටින ව්‍යාපාරිකයාගෙන් දැන ගැනීමට මෙතෙක් පොලීසියට හැකියාව ලැබී නැත. ඒ එම ව්‍යාපාරිකයා මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බැවිනි.