හම්බන්තොට සුචි ගම්මානයේ එකම පවුලේ තරුණියන් දෙදෙනකු ඕමානයට රැගෙන ගොස් කාමරයක රඳවාගෙන බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටියදී එක් තරුණියක් පසුගිය දින ගෙල වැලලාගෙන දිවිනසාගෙන ඇත.
හම්බන්තොට ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියකු මැදිහත්ව ඩුබායි රාජ්‍යයේ රැකියා දෙන බව පවසා මෙම තරුණියන් දෙදෙනා ඕමානයට රැගෙන ගොස් ඇති බව කියති.
මෙලෙස පසුගිය 24 වන දින ඕමානයේදී ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ හම්බන්තොට සුචි ගම්මානයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.
මෙම තරුණිය සමඟ 24 හැවිරිදි ඇයගේ වැඩිමහල් සහෝදරියද අදාළ සමෘද්ධි සංවර්ධන නිලධාරියාගේ මැදිහත්වීම මතම රැකියාවක් සඳහා පිටත් කර තිබේ.
ගෙල වැලලාගෙන මියගිය තරුණියගේ මාපියන් පවසන්නේ ඩුබායි රාජ්‍යයේ රැකියාවක් දෙන බව පැවසූ නමුත්, සමෘද්ධි නිලධාරියා ඇතුළු පිරිස සිය දරුවන් දෙදෙනා රැවටීමකට ලක්කර ලංකාවෙන් ඕමානයට රැගෙන ගොස් විවිධ නිවාසවල වහල් සේවයට යොදවා වැඩ ගනිමින් දැඩි ලෙස තාඩන පීඩනවලටද ලක් කරමින් වැටුප් නොදී වෙනම නිෙවසක හිරකරගෙන සිටින බවයි.
පසුව මේ සම්බන්ධයෙන් අදාළ තරුණියන් දෙදෙනා ලංකාවේ සිය මවුපියන් වෙත මේ බව පවසා තමන් මින් මුදාගන්නා ලෙසට ඉල්ලා තිබේ. ඒ අනුව එම දරුවන් දෙදෙනාගේ මාපියන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක්ද සිදුකිරීමට ගොස් ඇතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී නිලධාරිනියක් පවසා ඇත්තේ දියණියන් දෙදෙනා ලංකාවට ගෙන්වා ගැනීමට නම් රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවයි.
පසුව ඔවුන් මේ සිදුවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට ද පැමිණිල්ලක් සිදු කර තිබේ. අදාළ තරුණියන් දෙදෙනාගේ මාපියන් විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් අදාළ තොරතුරු සමෘද්ධි සංවර්ධන නිලධාරියා ඇතුළු පිරිසටද දැනගැනීමට ලැබී තිබේ. ඒ අනුව අදාළ සමෘද්ධ සංවර්ධන නිලධාරියා නිෙවසට පැමිණ එලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිල්ලක් සිදු කළේ මන්ද යන්න පිළිබඳ විමසා නිවැසියන්ටද තර්ජනයකර ඇති අතර, අදාළ තරුණියන් දෙදෙනාද ඕමාන් රාජ්‍යයේ රඳවා සිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් මේ වන විට සඟවා ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ අදාළ සමෘද්ධි සංවර්ධන නිලධාරියා හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ සේවය කරන අයකු බවත් ඔහු කලක සිට තවත් පිරිසක් සමඟ එක්ව මෙලෙස විවිධ තරුණියන්ට රට රැකියා සිහින පෙන්වා ඩුබායි ඕමාන් බහරේන් වැනි රටවල්වලට රැගෙන ගොස් කාමරවල රඳවා මිනිස් වෙළෙඳාමේ යෙදී ඇති බවත්ය.
මව්පියන් ඉල්ලා සිටින්නේ සිය විසි හතර හැවිරිදි වැඩිමහල් දියණිය ලංකාවට ගෙන්වාදීමට කටයුතු කර දෙන ලෙසයි.
හම්බන්තොට සුචී ගම්මානයේ ටකරන්වලින් අහුරන ලද කුඩා නිෙවසක මෙම පවුල ජීවත් වන අතර ආර්ථික වශයෙන් ද ඉතාමත් දිළිඳු තැනක සිටීම හේතුවෙන් මොවුන්ට මියගිය බාල දියණියගේ දේහය හා වැඩිමහල් දියණිය ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබේ.
දරුවන් දසදෙනෙකු සිටින එම පවුල ඉතා අසරණ තත්ත්වයේ පසුවන අතර පවුලේ පියා මේ වන විට රෝගාතුරව සිටී. නිෙවසක් ඉදිකර ගැනීමේ බලාපොරොත්තුවෙන් සහ පියාට ප්‍රතිකාර කිරීමේ බලාපොරොත්තුවෙන් තරුණියන් දෙදෙනා විදේශගත වී තිබේ. සිය දරුවන්ට මෙම අසාධාරණය සිදුකළ බව කියන සමෘද්ධි සංවර්ධන නිලධාරියාට එරෙහිව හා ඔවුන්ව ලංකාවට ගෙන්වා ගැනීමට අදාළව කටයුතු කරවා ගැනීම සඳහා මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියට පැමිණිල්ලක් කිරීමට ගිය නමුත් පොලීසිය ද එම පැමිණිල්ල භාර නොගත් බවට දැරියන්ගේ මව්පියෝ චෝදනා කරති. මියගිය තරුණියගේ දේහයත් දැනට සිරකර සිටින වැඩිමල් දියණියත් මෙරටට ගෙන්වා දෙන්නැයි මව්පියෝ ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටිති.