තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට ආ දකුණු කොරියානු මගී ගුවන් යානයක් මීට ස්වල්ප වේලාවකට කලින් අනතුරට පත් විය.
යානය අනතුරට පත් වූයේ එය දකුණු කොරියාවේ, මුවාන් ගුවන්තොටුපොළට ගොඩබෑමට උත්සාහ ගනිද්දීය.
ගුවන් ධාවන පථයට ගොඩබාද්දී යානයේ රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවින්, එය ගුවන් පථයේ ලිස්සා ගොස් හැපී අනතුරට පත් විය. ඉන්පසු යානය පිපිරී ගිනි ගත්තේය.
යානය අනතුරට පත්වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ගුවන්තොටුපොළ බලධාරීන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
යානයේ 181 දෙනක් වූහ. එම 181 දෙනාගෙන් 175 දෙනකු මගීන් වන අතර, නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන හයකි. යානයේ සිටි 23 දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත්, බරපතල තුවාල ලබා පණ බේරා ගත් එක් අයකු සිටින බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ ජේජු ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත්, අංක 2216 ගුවන් යානයයි. යානය අනතුරට පත් වූයේ දකුණු කොරියාවේ වේලාවෙන් උදෑසන 9.03ට පමණි.