පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ නිරත පාර්ලිමේන්තු නිලධාරියකුගෙන් සහ නිලධාරිනියකගෙන් ඊයේ (27) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
එම දෙපාර්තමේන්තුවෙන් කෙරුණු දැනුම්දීමක් අනුව දෙදෙනා ඊයේ පෙරවරුවේ එහි පෙනී සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසිය.
පාර්ලිමේන්තු නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෑත බාගයේදී කැඳවුණු පළමු අවස්ථාව මෙයයි.
මේ අතර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කරමින් සභානායක කාර්යාලයෙන් සභා ලේඛන කාර්යාලයට බාරදී තිබූ ලියවිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමුවී ඇත.
එම ලිපිය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් ලැබුණු එකක් බව සභානායක කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කාර්යාල දෙකේම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවිය. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් එලෙස ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් සුදර්ශන නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් කළේය.
එම දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ ඒ අනුවය.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් පසුගිය 20වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ සභා ලේඛන කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කළහ.