අයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩරට එළවළු වගා බිම් අක්කර 750කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇති බවත්, එම හානි වූ එළවළු වගාවන් සඳහා තමන්ටත් වන්දි මුදල් ලබා දෙන ලෙස වගා හානියට පත් උඩරට එළවළු ගොවීහූ රජයෙන් ඉල්ලා සිටිති.
වී, ලොකු ළුණු, අර්තාපල් ඇතුළු බෝග වර්ග හයකට රජයෙන් වන්දි මුදල් ලබා දෙන බව දැනට පවසා ඇති බවත්, එහෙත් අර්තාපල් හැර උඩරට වෙනත් එළවළු බෝග වගාවන් සඳහා වන්දි මුදලක් ලබා දීමට රජය පියවර ගෙන නොමැති බව ද උඩරට ගොවීහූ පවසති.
තමන් වගා කරන ලද ලීක්ස්, කැරට්, බෝංචි, බීට්රූට්, සලාද, රාබු, නෝ කෝල්, මාළු මිරිස්, තක්කාලි, ගෝවා, අතු ගෝවා ආදී වෙනත් උඩරට එළවළු වර්ග වගා කරන ලද වගා බිම් රැසක් පසුගිය දිනවල පැවති ගංවතුර හා අනෙකුත් ආපදාවන් හේතුවෙන් විනාශයට පත්ව ඇතැයි උඩරට එළවළු ගොවීහූ පෙන්වා දෙති.
කඳපොල ප්‍රදේශයේ එළවළු වගාවන්ට ගංවතුර ගැලීම හේතුවෙන් දැඩි හානියට පත්ව ඇති බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල උඩරට එළවළු වගා කොට තිබූ පහත් බිම් රැසක් ජලයෙන් යටව යාම හේතුවෙන් ඒවායේ වගා කොට තිබූ උඩරට එළවළු වර්ග ද සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇතයි ඔවුහු පෙන්වා දෙති.
බැංකු වලින් ණය මුදල් ලබා ගෙන හා තමන් සන්තකයේ තිබූ කණකර ආභරණ බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතනවලට උකස් තබා එළවළු වගා කිරීමේ කටයුතුවල තමන් නිරත වන බවත්, මේ හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතා රැසකට තමන් මුහුණ පා ඇතැයි ද උඩරට එළවළු ගොවීහූ වැඩිදුරටත් පවසති.