ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේ දී ගනු ලැබූ තීරණවලට සහ ලබාදුන් උපදෙස් පරිදි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ දී පොලොන්නරුව දිස්ත්රික්කයේ ප්රධාන පෙළේ වී සහ සහල් නිෂ්පාදන කරන ව්යාපාරික ස්ථාන නිරීක්ෂණය කළහ.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ බලතල ප්රකාරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත නියෝග අනුව පොලොන්නරුව දිස්ත්රික්කයේ වී ගබඩා සහ සහල් මෝල් පරීක්ෂා කොට ඔවුන් සතුව පවතින වී තොග සම්බන්ධව සහ දිනපතා වෙෙළඳපොළට නිකුත් කරනු ලබන සහල් ප්රමාණයන් පිළිබඳ තොරතුරු ලබාගැනීම මෙහි දී සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොලොන්නරුව දිස්ත්රික් ප්රධාන නිලධාරී එච්.ජී.සී.සී. කුමාර මහතා ප්රකාශ කළේය. එම පරීක්ෂාව සඳහා කුරුණෑගල, අනුරාධපුරය, මාතලේ යන දිස්ත්රික්කවලින් නිලධාරීන් දහතුනකින් යුත් කණ්ඩායමක් වී සහල් මෝල් පරීක්ෂාවට සහභාගි වූ බව ද ඒ මහතා කීය. දිස්ත්රික්කයේ ප්රධාන සහල් සැපයුම්කරුවන්ගේ සහල් නිෂ්පාදන ආයතනවලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් දෙදෙනා බැඟින් යෙදවීමට කටයුතු කළ බව එම නිලධාරියා වැඩිදුරටත් ප්රකාශ කළේය.
මේ අනුව දිස්ත්රික්කයේ ප්රධාන හාල් සැපයුම්කරුවන්වන අරලිය සහල් නිෂ්පාදන ආයතනය, නිව්රත්න, නිපුණ, ලත් සහල්, මේනක සහල්, හිරු සහල් නිෂ්පාදන ආයතනය, ජයවික්රම, වී හේන සහල් නිෂ්පාදන ආයතනයන් නිරීක්ෂණය කිරීමට නිලධාරීන් යෙදවූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.