පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙලෙස හිතුමතේ ප්රදර්ශනාත්මක අරමුණින් කමිටු පත් කිරීම හේතුවෙන් විශාල මුදලක් නාස්තිවී ඇතැයි රජයට පෙනී යාමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
පාර්ලිමේන්තු කමිටු විධිමත් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කර ඊට අදාළ යෝජනා ජනවාරි 31 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන්ට දැනටමත් නියෝග කර ඇත.
මේ අනුව විශේෂයෙන්ම ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තු සංසද පිහිටුවීමේ ක්රමවේදය ඉතා කඩිනමින් වෙනස් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
එකම සහ සමාන විෂයන් වෙනුවෙන් ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක්ම පත්කර ඇති හෙයින් සමාන විෂයන් එකම කාරක සභාවක් යටතට පත් කිරීමට අවධානය යොමුව ඇති බව රජයේ ප්රකාශකයෙක් පැවසීය.
විශේෂයෙන්ම ආර්ථිකයේ විවිධ අංශවලට අදාළව ආංශික ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක්ම පසුගිය කාලයේදී පත් කෙරුණු බවත් මේවා එකම කාරක සභාවක් යටතට ගැනීමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය අරගල සමයෙන් පසු යම් යම් අය පිනවීම සඳහා සමහර අංශික අධීක්ෂණ කාරක සභා කඩිමුඩියේ පත්කර ඇති බව පෙනී ගොස් ඇතැයිද එම ප්රකාශකයා කීවේය
මේ අතර පාර්ලිමේන්තු කමිටුවල නිර්දේශ නොපමාව ක්රියාත්මක කිරීමට බලය ලැබෙන යාන්ත්රණයක් ස්ථාපනය කිරීමටද රජයේ අවධානය යොමු වී ඇත.