සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂ ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනී නොසිටින බව සඳහන් කළේය.
ඒ අනුව එම වගඋත්තරකරුවන්ට පෞද්ගලික නීතිඥවරු ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවත් මෙහිදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම 2025 පෙබරවාරි මස 03 වනදා තෙක් කල් තැබුණි.
2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ තමන්ව ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකර ඉන් අනතුරුව සිය වැඩතහනම් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.