ශ්‍රී ලංකාවේ 2019 සහ 2023 අතර වසර පහක කාලය තුල ලියපදිංචි දරු උපත් සංඛ්‍යාව 71,110 කින් අඩු වී මරණ ලියාපදිංචිය 34,842 කින් ඉහළ ගොස් ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව 2019 වසරේ සිට 2023 වසර දක්වා ශ්‍රී ලංකාව තුල සිදුව ඇති දරු උපත් සහ මරණ සම්බන්ධයෙන් කරන ලද තොරතුරු ඉල්ලීමකට ලැබුණු තොරතුරු අනුව මේ බව සඳහන්වෙයි.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරි ඒ.එම්.ආර්.එස්.කේ. අමරකෝන් මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාව තුල දරු උපත් 3,19,010 ක් සිදුව ඇති අතර 2020 වසරේදී උපත් 3,01,706 ක් සිදුව තිබේ.
ඒ අනුව එම වසර තුල පෙර වසරට සාපේක්ෂව දරු උපත් 17,304 ක අඩුවක් පෙන්වයි. එම තොරතුරු අනුව 2021 වසරේදි උපත් 2,84,848 ක් වාර්තා වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව එය උපත් 16,858 ක අඩු වීමක් වෙයි.
2022 වසරේදි දරු උපත් 2,75,321 ක් සිදුව ඇති අතර පෙර වසරට සාපේක්ෂව උපත් 9527 ක අඩු වීමකි. 2023 වසරේදී ලංකාව තුල දරු උපත් 2,47,900 ක් ලියාපදිංචි කර ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව උපත් 27,421 ක අඩු වීමක් වෙයි.
2019 වසරේ සිට 2023 වසර දක්වා වූ වසර පහක කාලය තුල ලංකාවේ ලියාපදිංචි කර ඇති දරු උපත් සංඛ්‍යාව 71,110 කින් අඩු වී තිබේ.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති තොරතුරු වලට අනුව 2019 වසරේදී ලියාපදිංචි කර ඇති මරණ සංඛ්‍යාව 1,46,397 ක් වන අතර 2020 වසරේදී 1,32,431 ක් වෙයි. ඒ අනුව එම වසර තුල මරණ 13,966 ක අඩුවක් පෙන්වයි. 2021 වසරේදී මරණ 1,63,936 ක් ලියාපදිංචි වී ඇති අතර එම වසර තුල මරණ සංඛ්‍යාව 31,505 කින් ඉහළ ගොස් තිබේ.
2022 වසරේදී මරණ 1,79,792 ක් ලියාපදිංචි වී ඇති අතර පෙර වසරට සාපේක්ෂව මරණ 15,856 වැඩි වීමක්පෙන්නුම් කරයි. 2023 වසරේදී මරණ 1,81,239 ක් ලියාපදිංචි වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 1,447 ක වැඩි වීමක් පෙන්නුම් කරයි.
කෙසේ නමුත් මෙම සංඛ්‍යා ලේඛණ අනුව 2021 සහ 2022 වසරෙවල මරණ සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩි වීමක් පෙන්නුම් කරන්නේ එම කාලය තුල සිදු වූ කොවිඩ් 19 ආසාදිත මරණ නිසා විය හැකියි. එම වැඩි වීම 2023 වසරේ සිට අඩු වෙමින් පවතින බවද සංඛ්‍යා ලේඛණවල දැක්වෙයි .