2004/10/09 හා 2004/12/01 කාලය අතරතුරදී ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බව දැන දැනම හා සිය නම ඩයනා ගමගේ ලෙස නීත්‍යානුකූලව සංශෝධනය කර නොතිබියදීත් ඩයනා ගමගේ ලෙස ජාතික හැඳුනුම්පත ලබාගැනීමට කූට ලේඛන ඉදිරිපත් කර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් රැවටීම ඇතුළු චෝදනා තුනක් යටතේ හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන නොවැම්බර් 4 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (04දා) නියෝග කළේය.
එම විත්තිකාරියට එරෙහිව ගොනු කර ඇති චෝදනා සනාථ කිරීම සඳහා නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති සම්පූර්ණ ලේඛන ගොනුව එදින විවෘත අධිකරණය හමුවට ඉදිරපත් කිරීමට පියවර ගන්නා ලෙසටද විනිසුරුවරයා මහාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය. එමෙන්ම එම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කොට ඇති සියලු ලේඛන සතියක කාලයක් ඇතුළත තම අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියෝග කළ විනිසුරුවරයා එකී විමර්ශනවලට අදාළ සිය භාරයට ඇති සියලුම ලේඛන සතියක කාලයක් ඇතුළත මහාධිකරණයට ඉදිරිපත් කරනා ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කළේය.
තම අධිකරණය විසින් නිකුත් කළ එකී නියෝග නිසිපරිදි ක්‍රියාත්මක වන්නේ දැයි සොයාබැලීමක් සිදුකරන ලෙසටද පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු මහත්මියට විනිසුරුවරයා දැනුම් දුන්නේය. එම නඩුව ඊයේ (04දා) කැඳවූ අවස්ථාවේදී රජයේ අධිනීතිඥවරිය විසින් මින්පෙර අධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ලේ සාක්ෂි ලැයිස්තුවට නව සාක්ෂිකරුවකු ඇතුළත් කොට සංශෝධිත සාක්ෂි ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. පැමිණිල්ල විසින් සිය සේවාදායිකාවට එරෙහිව ගොනු කරන ලද චෝදනා සනාථ කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති ලේඛන ගොනු සම්බන්ධයෙන් ගැටලු පවතින බව පෙන්වාදෙමින් ජනාධිපති නීතිඥ චානක රණසිංහ මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නියෝගය කළේය.