සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය අවසන් වනවිට සිය ප්‍රථම ඉනිමට පිතිකරුවෝ සිය වගකීම හරියාකාරව ඉටුකරමින් ලකුණු රැස්කළ අතර දිනය නිමා වනවිට කඩුලු 03ක් දැවී ලකුණු 306 ලබා ඉතා ප්‍රබල තත්ත්වයක පසුවිය.
පළමු තරගයෙන් සුපිරි ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකාව තරගාවලි ජයක් සොයා පිටියට පිවිසියේය.
සුපුරුදු පරිදි කාසියේ වාසිය යළිත් හිමිකර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාට වාසනාව හිමි වූයේය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තේ නොපැකිලිවයි.
පළමු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගල වූයේ පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්නය.
පැතුම් නිශ්ශංක විනාඩි 3ක් ඇතුළත දැවී ගියත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් අගනා සම්බන්ධතාවක් ලබාදීමට දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල්ට හැකියාව ලැබිණි.
දිනේෂ් චන්දිමාල් සිය ජාත්‍යන්තර 16 වැනි ටෙස්ට් ශතකය ලබාගත් අතර එම ශතකයට වර්ණවත් හතරේ පහරවල් 13ක් එක් කළේය.
දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න සමගින් එක්ව ඉතා පරිස්සම්කාරී ලෙස ලකුණු 122ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූහ.
ලකුණු 46ක් ලබා සිටි දිමුත් අවාසනාවන්ත ලෙස දැවී ගියේය.
ඉතා අලංකර ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් ලබා සිටියදී ශේන් පිලිප්ස් යැවූ පන්දුවකට දැවී ගියේය. ඒ වනවිට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 221ක් ලබා සිටියේය.
ඉන් පසුව ශ්‍රී ලංකා පිල ශක්තිමත්ව ඉදිරියට රැගෙන යෑමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් භාරගත් අතර ඔවුන් ඉතා අගනා ලෙස එය ඉටුකළහ.
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු වැනි දිනය නිමා වන විට තරගයේ සියලු ගෞරවය ශ්‍රී ලංකා කණ්ඩායම සතුවූ අතර ජයග්‍රාහී ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් සිටියහ. ඒ අනුව දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 306ක් ලබා සිටියේය.