බිනර පුර පසළොස්වක පොහොය අදට(17) යෙදී ඇත. මෙම පොහොයේ සුවිශේෂම වැදගත්කම වනුයේ මෙහෙණි සසුන පිහිටුවීම ය.
කාන්තාවන්ට සම්බුද්ධ සසුනට ඇතුළත් වීම සඳහා පැවිදි බව ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෝතමිය තෙවරක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියද එම අවස්ථා තුනම බුදුරජාණන් වහන්සේ කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ. මහා ප්‍රජාපති ගෝතමිය එම ඉල්ලීම කළේ ගෞතම බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩ නීග්‍රෝධාරාමයේ වැඩවසන කාලයේ.ය.
එම ආරාමයේ ඉදිකරවා තිබෙන්නේ තථාගතයන් වහන්සේගේ එක් ලක්ෂ හැට දහසක් පමණ වූ ඥාතීන් පිරිසක් විසින් යැයි ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරින් නික්ම වැසි කාලය ලංවෙත්ම විශාලා මහනුවර සමීපයේ පිහිටි මහා වනයෙහි කුඪාගාර ශාලාවට වැඩමවා තිබේ
මෙම කාලයේදී මහා ප්‍රජාපති ගෝතමිය කසාවත් ඇඳගත් කාන්තාවන් 500දෙනෙකු සමඟ මෙම ශාලාව වෙත පැමිණ ඇත ඔවුන්ට මෙම ස්ථානය වෙත පැමිණීමට පනස් එක් යොදුනක් වූ අති දීර්ඝ මාර්ගයක් ගෙවා ඒමට සිදුව ඇති බව සඳහන්ය.
එම මාර්ගයේ පැමිණිමෙන් ඉදිමුනු පාදයන්ගෙන් හා දුහුවිලි වැකුණු ශරීරයන්ගෙන් යුක්තව අඬමින් සිටියහ.
මෙම ස්ථානයට වැඩමවූ අනඳ තෙරනුවන්ට මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඉදිරිපත් කළ දුක් ගැනවිලි වලට සවන් දීමට සිදුවිය .
එහි අවසාන ප්‍රතිඵලය වූයේ අනඳ තෙරණුවෝ එම සියලු කරුණු කාරණා බුදුරදුන් වෙත ඉදිරිපත් කිරීමය.කාන්තා පිරිසට පැවිද්ද ලබා දෙන ලෙස කළ එම ඉල්ලීම බුදුහු තෙවරක්ම ප්‍රතික්ෂේප කළහ.එහෙත් අනඳ තෙරුන්ගේ බලවත් පෙරැත්තය නිසාම අවසානයේ බුදුරදුන්ගේ ශ්‍රාවිකාවන් වන්නට එම පිරිසට අවස්ථාව ලැබිණි .
කාන්තාවන්ට පැවිද්ද හා උපසම්පදාව ලබා ගැනීම සඳහා පිළිපැදිය යුතු ධර්ම කරුණු අටක් තථාගතයන් වහන්සේ විසින් නියම කරනු ලැබ තිබේ.
ඒවා නම්
1උපසම්පදාවෙන් වස් සියයක් වූ මෙහෙණින් වහන්සේ නමක් වුවද උපසම්පදා වී එක් දිනක් පමණක් වු භික්ෂූන් වහන්සේ නමක් දුටුවහොත් උන්වහන්සේ ට වැඳ නමස්කාර කර ගෞරවය දැක්විය යුතුය.
2 භික්ෂූන් වහන්සේලා නොමැති ප්‍රදේශයන්හි මෙහෙණින් වහන්සේලා වස් නොවැසිය යුතුය.
3.අඩමසක් පාසා මෙහෙණින් වහන්සේ නමක් විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතුය. අවවාද අනුශාසනා දීමට පැමිණීමද බලාපොරොත්තු විය යුතුය.
4 වස් අවසානයේදී භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියෙහි පවාරණය කළ යුතුය
5.ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතෝ සංඝයා කෙරෙහි අඩමසක් මානත් පිරිය යුතුය .
6.වසරක කාලයක් ශික්ෂා මාතාවක්ව පුහුණු වෙමින් සිට පසුව උභතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතුය.
7කවර කාරණයක් නිසා වුවද භික්ෂු නමකට අක්‍රෝශ පරිභව නොකළ යුතුය.
8.මෙහෙණින් වහන්සේ නමක් විසින් භික්ෂූන් වහන්සේ නමකට අවවාද නොකළ යුතු නමුත් භික්ෂූන් වහන්සේ නමකට මෙහෙණින් වහන්සේ නමකට අවවාද කළ හැකිය.
මෙම අෂ්ට ගරු ධර්ම අසා මහත් ප්‍රීතියට පත් මහා ප්‍රජාපතිගෝතමිය බුදුරදුන් වැඩසිටිනා දිසාවට වැඳ ඒවා මැනවින් ආරක්ෂා කිරීමට පිළිගනිමියයි තෙවරක් ප්‍රතිඥා දී තිබේ.
ඒ සමගම මහා ප්‍රජාපති ගෝතමියට පැවිද්ද හා උපසම්පදාව ලැබී ඇති අතර පන්සියයක් ක්ෂේත්රිය කුමාරිකාවෝ ද භික්ෂූන් වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලබාගත් බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
රජ්ඥෝ මාතා මහෙසිති සුළභං නාමමිත්ථිතං
බුද්ධා මාතාති යං නාමං ඒතං පරම දුර්ලභං
රාජමාතාව,අගබිසව යන නම් ස්ත්‍රියකට ලැබීම සුලභය එහෙත්” බුද්ධ මාතා” යන නම ලැබීම බෙහෙවින් දුර්ලභ ය.
(මේ සඳහා අවශ්‍ය තොරතුරු ලබාදුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ගල්කිස්ස බෞද්ධායයතනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමියන්ට ගෞරව පුර්වක ස්තුතිය පළකරමු)