අවිස්සාවේල්ල නුගදණ්ඩ තට්ටුගල නාච්චිමල ඇළේ ගෝනවල ප්‍රදේශයේ දියවළේ ගිලීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (28) සවස මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කහතුඩුව, පොල්ගස්ඕවිට පාලගම පදිංචිව සිටි හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ සහ විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායමේ පන්දු ඔසවන්නා ලෙස කටයුතු කළ ජේ. ඒ. ඩි. සෙව්මින සිසුවා ය.
ඊයේ දහවල් මිතුරෙකු නිවසට පැමිණ ඇති අතර “අම්මේ මාළුවෙක් අරගෙන එන්නම්” යැයි පවසා මෙම සිසුවා නිවසින් පිටවී තිබූ බව මවගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලීසිය පැවසීය.
දස දෙනෙකුගෙන් යුත් පිරිසක් කැබ් රථයකින් දිය නෑම සඳහා ගොස් ඇති අතර මියගිය පාසල් සිසුවා සහ තවත් අයෙකු එක්වරම දියවළ ට පැන ඇති අතර දෙදෙනාම දියේ ගිලී නොපෙනී ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේදී එහි සිටි පිරිස ආධාර ඉල්ලා කෑ ගැසීමේදී ගම්වාසීන් පැමිණ දියවලට පැන එක් අයෙකු ක්ෂණිකව ගොඩට ගෙන ඇත අතර අනෙක් සිසුවා ගොඩට ගැනීමේදී ඔහු මිය ගොස් සිට ඇතැයි වාර්තා වෙයි.
මියගිය සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර මූලික රෝහලේ තැන්පත් කර ඇත.