තම බිරිය මියගොස් ඇති බවට බළන්ගොඩ නගරය ආසන්නයේ පදිංචි පුද්ගලයෙකු විසින් බළන්ගොඩ නගරයේ ඇති මල් ශාලාවකට ගොස් බොරුවට පවසා රුපියල් 40,000ක් වටිනා මිනී පෙට්ටියකට මුදල් ගෙවා මල් වඩමක්, ඇඳුම් සහ අනිකුත් අවමංගල භාණ්ඩද වෙන්කරවාගෙන මල් ශාලාවේ වෑන් රථයකින් නිෙවසට මිනී පෙට්ටිය ඇතුළු භාණ්ඩ පෙරේදා (25) සවස රැගෙන ගොස් ඇති අතර එහිදී 119 හදිසි ජාතික දුරකතන පද්ධතියට ලද පැමිණිල්ලක් මත බළංගොඩ පොලිසියේ නිලධාරින් විසින් එම නිෙවසට ගොස් මිනී පෙට්ටිය නැවත මල්ශාලවට භාරදීමට කටයුතු කර තිබේ.
බිරිය රෝගාතුරව සිටි බවත් මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බවට මරණ පරීක්ෂක ඇතුළු නිලධාරින්ද පැවැසූ බවද මොහු විසින් මල්ශාලාවට බොරුවට පවසා තිබේ. එය විශ්වාස කළ මල් ශාලාවේ සේවකයන් විසින් මිනී පෙට්ටිය ඇතුළු උපකරණ මොහු සමඟ මොහුගේ නිෙවසට රැගෙන ගොස් මිනී පෙට්ටිය නිෙවස ඇතුළට ගෙන තිබේ. නිෙවසට මිනී පෙට්ටියක් රැගෙන ඒමට හේතුව කුමක්දැයි දරුවන් මොහුගෙන් විමසා තිබෙන අතර, එහිදී මොහු පවසා තිබෙන්නේ උඹලගේ අම්මා මැරිලා. ඒක නිසා තමයි පෙට්ටියක් ගෙනාවේ බවයි. මව මියගොස් නැති බවත් මව මුළුතැන්ගෙයි සිටින බව දරුවන් පැවසීමත් සමඟ මල් ශාලාවේ සේවකයින් මිනී පෙට්ටිය ආපසු රැගෙන යෑමට උත්සාහ කර ඇති අතර, ඒ අවස්ථාවලදී මොහු විසින් එම සේවකයින්ට තර්ජන කර ඇත.
එහිදී මිනී පෙට්ටිය නිෙවස තුළ දමා මල් ශාලාවේ පිරිස පිටව ගොස් ඇති අතර, වැඩිමහල් දරුවා විසින් මේ සම්බන්ධයෙන් 119 හදිසි දුරකතන අංකයට දැනුම් දීමක් කර ඇත. ඊට අමතරව මල් ශාලාවේ හිමිකරුද මේ සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිසිය වෙත දැනුම් දීමක් කිරීමට ගොස් තිබෙන අතර, ඒ වන විටත් 119 හදිසි දුරකතන අංකයට දරුවා විසින් පැමිණිල්ලක් කර තිබේ.
පසුව බළන්ගොඩ පොලිසියේ නිලධාරින් දෙදෙනකු එම නිෙවසට ගොස් මිනී පෙට්ටිය මල් ශාලාවේ සේවකයින් වෙත ආපසු රැගෙන යෑමට භාර දී තිබේ. සැමියා විසින් මිනී පෙට්ටිය වෙනුවෙන් මල් ශාලාවට ගෙවූ රුපියල් 40000ක මුදල නැවත රැගෙන යෑම සඳහා මල් ශාලාවට පැමිණෙන ලෙස බිරියට සහ සැමියාට දැනුම් දී තිබේ. මෙවැනි දෙයක් කිරීමට මොහු මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් මොහු කිසිවක් ප්රකාශ නොකරන බවද පොලිසිය පවසයි.