බලපත්‍රයක් රහිතව නීති විරෝධී ලෙස යුරෝපයයේ රැකියා සදහා යැවීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයකු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ විශේෂ වැටලීම් අංශය පැවසීය.
අදාල ආයතනයෙන් ලබා ගැනීමට හැකි යුරෝපා රටවල රැකියා අවස්ථාවන් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දී තිබූ ප්රචාරක කටයුතු මත ලද තොරතුරක් අනුව මෙම ස්ථානය වැටලීමට කටයුතු කර තිබුණි.
මෙම රැකියා නියෝජිත ආයතනය මගින් ඇල්බේනියාවේ සහ රුමේනියාවේ රැකියා සදහා පුද්ගලයින් විදෙස් ගත කරන බව පවසමින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 11 ක් පමණ අයකර ඇති බවත් එහෙත් මෙතෙක් කිසිදු පුද්ගලයකු විදෙස් ගත කිරීමට කටයුතු කර නොමැති බවත් සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද එම ඒකකය පවසයි.
අදාල විදේශ රැකියා නියෝජිත ආයතනයේ හිමිකරු බව කියන සැකකරුට අයත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ ගමන් බලපත්‍ර 60 කට ආසන්න ප්‍රමාණයක් සහ පුද්ගල ජීව දත්ත පත්‍රිකා රැසක් ද සොයා ගැනීමට හැකිව ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි නීතිඥවරයකු බව කියන පුද්ගලයෙකි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.