රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු යැයිද යම් හෙයකින් පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක නා හිමියන් ඊයේ (27) බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමිනි.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන්ට ආදර්ශයක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කළයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා උද්ඝෝෂණ සහ වැඩවර්ජන සඳහා ඇතැම් ගුරුවරු සම්බන්ධ වීමේ දී ඔවුන් දරුවන්ට අවවාදයක් හා උපදෙසක් ලබාදීමට කෙතරම් හැකියාවක් හිමිවේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.
මෙම අර්බුදය සමස්ත ගුරු සේවයේම මතුව ඇති අර්බුදයක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලන නැඹුරුවක් තිබෙන ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැලලක් සිදුව ඇති බවත් සඳහන් කළේය.
එසේම මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල පාසල් වල පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙමළ, මුස්ලිම් සහ පෞද්ගලික පාසල් අඛණ්ඩව දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට කැපවී සිටීම අගය කළේය.