සමරිසි පුද්ගලයන්ට තවත් එවැනිම පුද්ගලයන් හඳුන්වාදෙන බව පවසා පාළු නිවෙසකට ගෙන්වා නිරුවත් කර පහරදී එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් කප්පම්ගත් තිදෙනෙකු මිරිහාන මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් කලක පටන් සංවිධානාත්මකව මෙම කප්පම්ගැනීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
නුගේගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු සමරිසි පුද්ගලයන් සම්බන්ධ කරන යෙදුමකට සම්බන්ධ වීමෙන් අනතුරුව පිටකෝට්ටේ, බැද්දගාන වෙහෙරකන්ද ප්‍රදේශයේ පාළු දෙමහල් නිවසකට ඔහුව පුද්ගලයෙකු විසින් ගෙන්වා තිබේ.
එලෙස ගෙන්වාගත් පුද්ගලයාට තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පහරදී නිරුවත් කර එම දර්ශන වීඩියෝගත කර අන්තර්ජාලයට මුදහරින බවට තර්ජනය කර ඇති බව පොලීසිය පැවසුවේය.
එසේ නොකිරීමට නම් අදාළ පිරිස රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් අදාළ පුද්ගලයාගෙන් ඉල්ලා තිබේ.
පසුව ඔහු ඒ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලීසිය ඔහු ලවා දුරකථන ඇමතුමක් අදාළ පිරිසට ලබාදී පවසා ඇත්තේ, මුදල් ලබාගැනීම සඳහා පිටකෝට්ටේ මංසන්ධියට පැමිණෙන ලෙසය.
සැකකරුවන් අදාළ ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඒ අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගේ ජංගම දුරකථන භාරයට ගෙන පරීක්ෂා කළ පොලීසිය ඒවායේ තිබී එලෙස ඔවුන් කප්පම් ගත් පුද්ගලයන් 6 දෙනෙකුගෙන් දර්ශන සොයාගනු ලැබීය.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යය ද පොලීසිය සොයා ගෙන තිබේ.
අත්අඩංගුවටගත් සැකකරුවෙකුගේ පියාට අයත් දෙමහල් නිවසකදී මෙම ක්‍රියාව ඔවුන් විසින් සිදුකර ඇති අතර එම පිරිස අවුරුදු 41 හා 59 අතර වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.