අධික වර්ෂාවත් සමඟ ජල විදුලිබලාගාර ආශිත ජලාශ පිරීයෑමේ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ඊයේ (27) පැවසීය.
ජලවිදුලි බලාගාරවලින් පසුගිය (26) විදුලිය ගිගාවොට් පැය 15.66 ක් නිෂ්පාදන කළ බවත් එම ප්රමාණය සමස්ත විදුලි සැපයුමෙන් සියයට 41.91 ක් බවත් එම නිලධාරියා කීය.
ජල විදුලි බලාගාරවලින් මෙම මස 1 වැනිදා විදුලිය ගිගාවොට් පැය 8.16 ක් පමණක් නිෂ්පාදනය කළ අතර එහි ප්රතිශතය සියයට 20.40 ක් බවත් ඒ අනුව දින 25 තුළ ගිගාවොට් පැය 7.5 කින් ඉහළ ගොස් ඇති බවත් එම නිලධාරියා කීය.
ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමත් සමඟ තාප විදුලි සැපයුම පෙරේදා වන විට සියයට 25.19 ක් දක්වා පහත වැටී තිබූ බවත් එම ප්රමාණය ගිගාවොට් පැය 9.41 ක් බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මෙම මස 1 වැනිදා වන විට තාප විදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 25.17 ක්ව තිබූ බව කී එම නිලධාරියා එය සමස්ත විදුලි සැපයුමෙන් සියයට 62.92 ක් බව ද වැඩි දුරටත් කීය.