නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන ගව සරම්ප රෝගය පාලනය සදහා අවශ්‍ය එන්නත් ලබා දීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය කීවාය.
ගව සරම්ප රෝගය වැලදී ඇති සතුන්ගේ කිරි හා මස් පරිභෝජනයෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවක් උද්ගත නොවන බවත් මෙම රෝගය මිනිසුන්ට වැලදීමේ අවදානමක් නොමැති බවත් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළාය.
රෝගය පාලනය සඳහා වහාම අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අධ්යක්ෂ ජනරාල්වරියට උපදෙස් දුන්නේය.
මෙම රෝගය මීට මාස කිහිපයකට පෙර යාපනය ප්‍රදේශයෙන් ද වාර්තා වූ අතර එළදෙනුන් සඳහා එන්නත් කිරීම ආරම්භ කළ නිසා එම රෝග තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම දැනට මෙම රෝගය පාලනය සඳහා ඇති එන්නත් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නේ නම් හදිසි අවශ්‍යතාවය යටතේ මිල දී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා සඳහන් කළේය.
ගව සරම්ප රෝගය නිසා කිරි දෙනුන් උණ රෝගයට ගොදුරුවන අතර මේ නිසා එම සතුන්ගේ දෛනික කිරි ප්‍රමාණයේ අඩුවීමක් සිදුවේ.
ගව සරම්ප රෝගය නිසා මාස හයකදී මධ්‍යම පළාතේ ගවයින් 135ක් පමණ මරණයට පත්වී ඇති බවට වාර්තා වී ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.