නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල කළුබෝවිල පාර ද සිල්වා හරස් පාර පදිංචිව සිටි සේපාලිකා චාන්දනී සතරසිංහ 64 යන අයයි.
ඝාතනයට ලක් වූ බව කියන නීතිඥවරිය මෙම නිවසේ තනිව ගත කර ඇති අතර ඇයගේ සොයුරා කැනඩාවේ ගතකරන බව පොලිසිය සඳහන් කරයි.
ඇය ඔහු සමග නිරතුරුවම දුරකථනයෙන් සබඳතා පවත්වන අතර ඉකුත් පෙබරවාරි 15 වෙනිදින අවසන් වතාවට ඔහු නොවුන් දෙදෙනා දුරකථනයෙන් සම්බන්ධ වී ඇති පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කැනඩාවේ පදිංචි සහෝදරයාගේ මිතුරකු වන මිරිහාන ප්රදේශයේ පදිංචි පුද්ගලයකු අද 29 දහවල් කොහුවල පොලිසිය වෙත පැමිණ කැනඩාවේ පදිංචි මිතුරාගේ සහෝදරිය ඔහුට පෙබරවාරි 15 වෙනි දින යෙන් පසුව දුරකථනයෙන් සබඳතා නොපැවතීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කොහුවල පොලිසිය දැනුම්වත් කරන ලෙස පැවසීමෙන් අනතුරුව පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි.