ගාල්ල බන්ධනාගාරය තුළට පිටතින් විසිකළ තහනම් ද්‍රව්‍ය පාර්සලයක් අත්අඩංගුවට ගත් ජේලර්වරයාගේ අම්බලන්ගොඩ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා ඊයේ (18) පැවසීය.
තහනම් පාර්සලය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ (18) පෙරවරුවේ ජේලර්වරයාගේ පුද්ගලික නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට අවමංගල්‍ය කටයුතු සදහා යොදා ගන්නා මල්වඩමක් සහ ඉටිපන්දමක් තබා ගොස් ඇති බවත් එම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිලි කළ බවත් දිසානායක මහතා කීය.
ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට පිටතින් කිසියම් පුද්ගලයෙකු එහි බන්ධනාගාර රෝහල පරීශ්‍රයට විසිකළ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එහි රාජකාරී නියුතු ජේලර්වරයා අත්අඩංගුවට ගත් බවත් එම පාර්සලය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පාර්සලය වැටී තිබු ස්ථානය අසලින් බන්ධනාගරගත සැකකරුවෙකු රැදි සිට ඇති බවත් ඒ මහතා කීය.
එම සැකකරු බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා බවට තොරතුරු ලැබී ඇති අයෙකු බැවින් ජේලර්වරයා සැකකරු කැඳවා අදාල පාර්සලය පිළිබද ප්‍රශ්න කර ඇති බව ද දිසානායක මහතා සඳහන් කළේය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා විමර්ෂණයක් ආරම්භ කළ බවත් අදාල සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා වැඩි දුරටත් කීය.