යුක්රේනයට නේටෝ සංවිධානයේ සොල්දාදුවන් එවූහොත් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ට සහ ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්ට අත්වූ ඉරණමට වඩා දරුණු ඉරණමක් බටහිර දේශපාලඥයන්ටද අත්වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇඟවූවේය.
යුක්රේන යුද්ධයට මැදහත් වුවහොත් බටහිර දේශපාලනඥයන්ට අත්වන ඛේදජනක ඉරණම සම්බන්ධයෙන් ඔවුන්ට කිසිඳු අදහසක් නොමැති බවද ජනාධිපති පුටින් ප්‍රකාශ කළේය.
රුසියාවට බටහිර රටවලට එල්ල කළ හැකි ආයුද තිබෙන බව බටහිර දේශපාලනඥයන්ට අමතක වී ඇතැයිද රුසියානු ජනාධිපතිවරයා පැවැසුවේය.එවැනි මැදිහත් වීමකින් සිදුවන්නේ ශිෂ්ඨාචාරයන් විනාශ කර දමනා න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වීම පමණක් බවද රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ යුක්රේනයට නේටෝ සංවිධානයේ භටයන් යැවිය යුතු බවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමිනි.කෙසේ වෙතත් එම අදහස ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඇතුළු නේටෝ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ප්‍රංශ විපක්ෂය එම යෝජනාව දැඩිව විවේචනය කළේය.නමුත් එස්තෝනියාව සහ ලිතුවේනියාව එම යෝජනාවට පක්ෂ වූවේය.
එළඹෙන 15 – 17 දක්වා රුසියානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එහිදී තවත් අවුරුදු 6 ක කාලයක් සඳහා ජනාධිපති පුටින් නැවත වරක් රුසියානු ජනාධිපති ධුරයට පත්වනු ඇතැයි දැනටමත් තහවුරු වී ඇති බව විශ්ලේෂකයෝ පවසති.