ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා පිටවීම් සහ පැමිණීම් අද (28) පස්වරුව වන විට සාමාන්‍ය තත්ත්වයට පත්විය හැකි බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවසයි.
අද දෙරණ “බිග් ෆෝකස්” වැඩසටහන සමග එක්වෙමින් ගුවන් සමාගමේ වෘත්තීය සමිති සංගම් පවසන්නේ දේශපාලන මැදිහත්වීම මත ගුවන්යානා මිලදී ගැනීම් අවලංගු කිරීම හේතුවෙන් ගුවන් සමාගම වත්මන් අර්බුදයට මුහුණ පා ඇති බවය.
ශ්‍රීලන්කන් ගුවන් ගමන් වාර ප්‍රමාදවීම සහ ඇතැම් ගමන් වාර අවලංගු වීමේ සිද්ධී පසුගිය කාලය පුරා දිගින් දිගටම වාර්තා වූ අතර ඉකුත් ඉරිදා සිට එම ගැටලුව උග්‍ර තත්ත්වයට පත්වුණි.
ඊයේ (27) දිනයේදී පමණක් ගුවන් ගුමන්වාර 10 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ක්‍රියාත්මක වු අතර ගුවන් ගමන්වාර 03කට ආසන්න සංඛ්‍යාවක්ද අවලංගු වී තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම්, හසන්ත යසරත්න මහතා,
“දැනට අපි සතුව තියෙනවා ගුවන් යානා 24ක්. ඒකෙන් දැනට මෙහෙයුමට භාවිත කරන්නේ, ගුවන් යානා 18ක් පමණයි. අනෙක් ඒවායේ ඉංජින්වල ප්‍රශ්නයක් තියෙනවා. ඒක ශ්‍රීලන්කන් එකට විතරක් නෙමෙයි ලෝකයේ සෑම ගුවන් සමාගමකටම පොදු වුණ කාරණයක්. ආයතනයේ සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය 2021 අලුත් ගුවන් යානා ගන්න සැලැස්මක් ඉදිරිපත් කළා. ඒක එවකට කෝප් සභාපති සහ එහි සාමාජිකයින් ඒ වෙලාවේ ඒක අවලංගු කරලා දැම්මා. මොකද දේශපාලන පංගුවක් බවට පත්කර ගත්තා ගුවන් යානා මිල දී ගැනීම. මේ වෙලාවේ ටුවරිසම් හොඳටම පීක් වෙලාව. අපට ඇත්තටම ගුවන් යානා තියෙනවා නම්, මෙහෙයුම්වලට ගොඩක් වටිනවා. ගුවන් යානා නැතිකම තමා මේකට ලොකුම ප්රශ්නය.”
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති, ජනක විජයපතිරත්න මහතා,
“ජාතික ගුවන් සේවය රාජ්‍ය ආයතනයක් වුණාට මේ ව්‍යාපාරය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස කරන්න බෑ. නිදහසක් තියෙන්න ඕනේ ක්ෂණික තීන්දු තීරණ ගන්න. අද ගුවන් යානයක් ටෙක්නිකල් ෆෝල්ට් එකකට හිරවුණොත් ගුවන් යානා ඉංජිනේරුවෙක් ඒ රටට යවන්න අමාත්‍යවරයාගේ අනුමැතිය ඕනේ. මේ ව්‍යාපාරය ගැන කිසිම අවබෝධයක් නැති ඇමතිවරු කෝප් කමිටුවල තීරණ ගන්න ගිහින් තමා මේ ඉරණමට අද රටම මුහුණදෙන්නේ.”
ප්රශ්නය – කඩිනමින් මේ ප්රශ්නය විසඳන්න ක්‍රමයක් ශ්‍රීලන්කන් එකට තියෙනවා ද ?
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම්, හසන්ත යසරත්න මහතා,
“පසුගිය කාලයේ බෙල්ජියම් ගුවන් යානා දෙකක් වෙට්ලිස්ට් කියන පදනම යටතේ මිල දී ගත්තා. ඒකෙන් තමා මේ ඔපරේෂන් එක සාමාන්‍ය විදියට කරගෙන යන්නේ. අද සවස් වෙද්දි අපි බොහෝදුරට විශ්වාස කරනවා ප්‍රමාදවීම් සියල්ල යථා තත්ත්වයට පත්වෙලා, ගුවන් මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන්න පුළුවන් කියලා.”