1998 වසරේ දී දකුණු කොරියාවේ දී එරට 18 හැවිරිදි තරුණියක දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකික විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව අහෝසි කොට එම විත්තිකරුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබූ ඇපෑලේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඊයේ (27) දින නියමයක් නොමැතිව කල් තැබීය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ එම ඇපැල් පෙත්සම ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.
1998 වසරේ දකුණු කොරියාවේදී රැකියාවකට ගොස් සිටි ශ්‍රී ලාංකික විත්තිකරු විසින් ම එරට පදිංචි 18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඩී.එන්.ඒ සාක්ෂි මත ඔහුට එරෙහිව දකුණු කොරියානු අධිකරණය හමුවේ එරට රජය විසින් නඩු පවරා තිබුණි.
එහෙත් තාක්ෂණික හේතුන් මත විත්තිකරු එම නඩුවෙන් නිදහස් කෙරුණු අතර ඉන් පසුව මෙම විත්තිකරු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී.
ඉන් අනතුරුව කොරියානු ශ්‍රී ලංකා අන්‍යෝන්‍ය සහයෝගිතා ගිවිසුම යටතේ මෙම විත්තිකරුට එරෙහිව ශ්‍රී ලංකාවේදී නඩු පවරන ලෙස දකුණු කොරියානු රජය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ නීතිපතිවරයා විසින් අදාළ විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.
එම නඩුව දීර්ඝ ලෙස විභාග කළ කොළඹ මහාධිකරණය අදාළ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය.
ඉන් අනතුරුව එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනුකළ අතර එය විභාග කළ අභියාචනාධිකරණය විසින් අදාළ ඇපෑල නිෂ්ප්‍රභ කරමින් අදාළ විත්තිකරු නිදොස් කොට නිදහස් කොට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව තහවුරු කළේය.
ඉන් පසුව අදාළ විත්තිකරු නිදහස් කරමින් කොළඹ මහාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් දුන් තීන්දු බලරහිතකොට අදාළ විත්තිකරුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
මෙහිදී පෙත්සම්කාර අභියාචක විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය පෙනී සිටියාය.