හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී පසුගිය (25) ඒකමතිකව සම්මතවී ඇත.
කෙසේ වෙතත් මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඒ මහතාගේ පුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන්ට ආරාධනා කර නොතිබීම විශේෂත්වයකි.
මෙම රැස්වීමට පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩ, ඉන්දික අනුරුද්ධ , ජානක තිස්ස කුට්ටිආරච්චි රෝහණ දිසානායක යන මන්ත්‍රීවරුන්, මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.
නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු යැයි කෙරුණු යෝජනාවට පළාත් පාලන ආයතන නියෝජිතයන් සියලු දෙනා එහිදී ඒකමතිකව අනුමත කර ඇතැයිද දැනගන්නට ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය පාවිච්චි කිරීමෙන් ඉදිරි මැතිවරණවලදී සැලකිය යුතු ජයග්‍රහණවලට යා හැකි බව රැස්ව සිටි බොහෝ දෙනාගේ අදහසවී ඇත.
මෙම රැස්වීම පැවැත්වුණේ මාතලේ හෝටලයකදීය.