එක්සත් ජනරජ පෙරමුණේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” මැයෙන් වූ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් එහි නායක පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයට ඊයේ (26) පැමිණ සාකච්ඡාවක නිරත විය.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ගේ ප්රධිනත්වයෙන් සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ දී මෙම හමුව පැවැත්විණ.
ඊට සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ද එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලකල ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.
එක්සත් ජනරජ පෙරමුණේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” යෝජනාවලිය පිලිබඳ පාඨලී චම්පික රණවක ප්රමුඛ එක්සත් ජනරජ පෙරමුණ දේශපාලන පක්ෂ සහ සංවිධාන සමඟ සාකච්ඡා කිරීමේ පියවරක් ලෙස මෙම හමුව පැවැත්විණ.