ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගිවිසුම්ගත පාර්ශ්වයට නොගෙවා තෙවැනි පාර්ශ්වයකට ගෙවීමේ චෝදනාවට ගොනුකර ඇති නඩුවට අදාලව අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම රුපියල් මිලියන 100 ක ශරීර ඇපයක් මත මාර්තු 2 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (19) නියෝග කළේය.
ප්‍රතිකාර ගැනීමට විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස නීතිඥ තිළිණ වීරසිංහ මහතා මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමට අවසර දෙමින් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙලෙස නියෝග කළේය.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාලට සහ 2014 වසර කාලයේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට විරුද්ධව තීනියාවල පාලිත හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබිණ.
එහිදී ගිවිසුම්ගත ඩෙලවෙයාර් ලිමිටඩ් ලයබිලිටි සමාගමට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් මූල්‍ය මණ්ඩලයේ අවසරය පමණක් ගෙන තෙවැනි පාර්ශ්වයකට ගෙවීම සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට චෝදනා එල්ල විය.