ප්‍රදේශ දෙකක සිදුවු පහරදීම් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (18) රාත්‍රියේ කුඹුක්ගැටේ වෙල්ගාල, නෙල්ලිය ප්‍රදේශයේ දී පියෙකු විසින් සිදුකළ පහරදීමකදී ඔහුගේ පුතා ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 30 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන අතර මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට නිරන්තරයෙන් සිය පියාගෙන් මුදල් ඉල්ලා ඔහුට පිඩා සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ඊයේ දිනයේ දී ද මෙම පුද්ගලයා පියාගෙන් මුදල් ඉල්ලා කරදර සිදුකර ඇති අතර එහිදී පියා විසින් නිවසේ තිබූ මිටියක් රැගෙන ඔහුගේ හිසට පහර දී තිබේ.
සැකකාර 60 හැවිරිදි පියා කුඹුක්ගැටේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර පුත්තලම හොරයිසන් පාක් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර තියුණු ආයුධයකින් පහර දී රෝහල් ගත කර සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
පසුගිය 17 වනදා රාත්‍රියේ බීමත්ව ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු වී ඇති බවට අනාවරණය වී තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් 20 සහ 26 වයස්වල පසුවන හොරයිසන් පාක් සහ සිංහනාගවිල්ලුව යන ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.