ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී දෙරට අතර සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයන් එකඟ වූ අතර, විශේෂයෙන් දෙරටේ ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි එහි දී ප්රමුඛ අවධානයක් යොමු ව තිබිණි.
මේ වන විට ඉන්දියාව සිවිල් සේවාවන්හි ධාරිතාව ගොඩනැංවීම උදෙසා දැවැන්ත වැඩසටහනක් දියත් කර ඇති අතර, රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැංවීමේ ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් නව්‍යකරණයෙන් සහ කාර්යක්ෂම ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වනු ඇති බව සඳහන් ය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ ජ්‍යේෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා පසුගිය දා මෙරටට පැමිණ ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වා තිබිණි.
එම සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ගොස් අදාළ ඉන්දීය ආයතන සමඟ තවදුරටත් සාකච්ඡා කොට සුදුසු ධාරිතා සංවර්ධන සහයෝගිතා වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.
ඒ අනුව ඔවුන් පෙබරවාරි 12 වැනි දා සිට 17 දක්වා පැවැත්වෙන වැඩසටහනක් සඳහා එක් ව සිටි අතර, ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඉන්දියානු රජය විසින් සපයා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කර ඇත.