ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉන්දියන් සාගරය ආශ්රිත රටවල් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සහ දැනුවත්භාවය වැඩිදියුණු කර ගැනීම මඟින් ආරක්ෂිත සහ ස්වාධීන ඉන්දියන් සාගරයක් නිර්මාණය කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
2050 වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් වැඩි වන බවට පුරෝකථනය කර ඇති බවත්, ඒ වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ආරම්භ වූ 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
ඉන්දියානු සාගරය ආශ්රිත රටවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දියන් සාගර සමුළුවේ 7 වන සමුළුව ඊයේ සහ අද (10) ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වේ.