නෝර්වුඩ් පොලිස් වසමේ නිව්ටන් වත්ත ප්‍රදේශයේ ගසක අත්තක් කඩා වැටීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, අත්ත කඩා වැටී බරපතළ තුවාල ලැබු දරුවා නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 16ක් වූ නිව්ටන් වත්ත, දික්ඔය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.
මියගිය දරුවා එම වත්ත මැදින් ගමන් කරමින් සිටිය දී වත්ත ඉහළ ප්‍රදේශයේ පිරිසක් විසින් ගසක් කපමින් සිට ඇත.
කපන ලද ගස වෙනත් ගසක ගැටීමෙන් එම ගසෙහි අත්තක් දරුවාගේ වැදී අනතුර සිදුව තිබිණි.
ගස කපන ලද සැකකරුවන් 5 දෙනෙකු නෝර්වුඩ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පෙබරවාරි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ අතර, ඊයේ (05) දිනයේ දී ද ගම්පොළ ජාත්‍යන්තර පාසලක් ආසන්නයේ පිහිටි ගසක් කඩා වැටීමෙන් එහි පෙර පාසලේ ඉගෙනුම ලැබූ පස් හැවිරිදි දරුවෙකුට ජීවිතය අහිමි වූ අතර තවත් දරුවන් දෙදෙනෙකු තුවාල ලැබීය.