ස්විට්සර්ලන්තයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගී වීම සඳහා උගන්ඩාවට පිටත්ව යාමට නියමිතව තිබේ.
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවට හා G77 සහ චීනය, තෙවන දකුණු සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතව වන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවිනි මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව සඳහන්ය.
“හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාවෙන් නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වීමට නියමිතය.
‘G77 සහ චීනය’ තෙවැනි දකුණු සමුළුව 21 සහ 22 යන දිනවලදී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර සංචාරය අතරතුර අප්‍රිකානු කලාපීය රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
මේ අතර, තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ස්විස්ටර්ලන්තයේ, ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවති ඉන්දීය කර්මාන්ත සමූහය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.
ඉන්දීය කර්මාන්ත සමූහය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර වටමේස සාකච්ඡාවක් ඊයේ (17) ස්විට්සර්ලන්තයේ, ඩාවෝස් නුවරදී පැවැත්වුණි.
එහිදී ඉන්දීය කර්මාන්තකරුවන් අමතමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික දැක්ම පැහැදිලි කළ අතර සැපයුම් සඳහා පැවති අවහිරතා සාර්ථකව විසඳා ගැනීම, ආනයන සීමා ඉවත් කිරීම සහ විදේශ විනිමය ද්‍රවශීලතාව යථා තත්ත්වයට පත් කර ගැනීම ඇතුළු පියවර රැසක් තුළින් පැවති අභියෝග කෙටි කාලයක් තුළ ජය ගැනීමට හැකි වූ බව එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාව සිය වෙළෙඳ ගිවිසුම් ක්‍රියාකාරීව පුළුල් කරමින් සිටින බවත් ඒ අනුව මෑතකදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹුණු අතර පෙබරවාරි මාසයේදී තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට නියමිත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ පෞද්ගලික ආයෝජනය සිදුකරන ලෙස ආරාධනා කළ ජනාධිපතිවරයා ඉන්දීය කර්මාන්තකරුවන් වෙත දන්වා ඇත්තේ මෙරට විදුලි සංදේශ, මූල්‍ය සේවා සහ බලශක්තිය වැනි ප්‍රධාන අංශවලද ආයෝජන අවස්ථා පවතින බවය.
ඉන්දියාවේ විවිධ ක්ෂේත්රවලට අයත් ප්රමුඛ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ පැවති මෙම වටමේස සාකච්ඡාවේදී, සැපයුම් දාමවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සෞඛ්‍ය සේවා, පාරිභෝගික නිෂ්පාදන, විදුලි සංදේශ සේවා සහ හරිත බලශක්තිය වැනි ක්ෂේත්රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ අතර, දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු කණ්ඩායම සමඟ මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් සමාලෝචන රැස්වීමක් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිට ඇති බව වාර්තා වේ.
මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ලබා ඇති ප්‍රගතිය, ඉලක්ක සපුරා ගැනීම සහ මුහුණ දෙන අභියෝග ජය ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.