ගාලු මුව දොර අරගලයේ පැවති සමයේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට එරෙහිව කොටුව අසල විරෝධතාවයක් සිදුකළ නීතිඥවරුන් පිරිසක්හට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හා හමුදාව සිය කණගාටුව ප්‍රකාශ කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරුන් එකොළොස් දෙනෙකු ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ඒ අනුව මෙම පෙත්සම් විභාගය අවසන් කෙරිණි.
නීතිඥ මනෝජා ගුණවර්ධන මහත්මියගෙ උපදෙස් පරිදි නීතිඥ චන්ද්‍රනාත් නාරන්ගොඩ මහතා ඇතුළු නීතිඥවරුන් එකොළොස් දෙනෙක් විසින් ගොනුකොට ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් හැටියට හමුදාපති, පොලිස්පති, ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති
ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරඟයේ තුන්වෙනි දිනයේදී පෙත්සම්කාර නීතිඥවරුන් එවකට පැවැති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සිදුකළ විරෝධතාවයට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරින් බාධා කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත
තමන්ට සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් කෝටි පහක මුදලක් ලබා දෙන ලෙසද මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද පෙත්සම්කාර නීතිඥවරු සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති
පෙත්සම්කාර නීතිඥවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන විරාන් කොරයා, සාලිය පීරිස් ඇතුළු පිරිසක් පෙනී සිටිති
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය