නව වැට් බදු පනත සමගින් ලබන ජනවාරි මස 1 වැනිදා සිට පෙට්රල් ලීටරයක් රුපියල් 62.37 කින් ඩීසල් ලීටරයක් රුපියල් 59.22 කින් ඉහළ යන බවත් ඒ අනුව පෙට්රල් ලීටරයක් රුපියල් 400 ට වැඩි මිලකට ද, ඩීසල් ලීටරයක් රුපියල් 400 ට ආසන්න මිලකට ද, පත්වන බවත් සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ඊයේ (11) පැවසීය.
ඩීසල් ලීටරයක් රුපියල් 329 ක සහ ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 346 ක මේ වන විට පවතින බවත් ඉන්ධන සඳහා මේ මොහොත වන විට බදු වර්ග හතරක් එකතු වන බවත් ඒ මහතා කීය.
ඉන්ධන ලීටරයක මිලට මේ වන විටත් බදු පමණක් රුපියල් 125 කට අධික මුදලක් එකතුව ඇති බව කී ආනන්ද පාලිත මහතා සඳහන් කළේ ඉන්ධන බදුවලින් ආණ්ඩුව මසකට රුපියල් කෝටි 1500 කට අධික මුදලක් ලබන බවයි.
ඉන්ධන ගාස්තු ඉහළ යෑමත් සමඟ ජනවාරි 1 වැනිදා සිට විදුලි සහ ජල ගාස්තු ද ඉහළ යන බව ද ආනන්ද පාලිත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.