කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටක් ලෙස ඉදිරියට යාමේදී විද්‍යාත්මක හා පර්යේෂණ ක්ෂේත්රය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය ආයතන පද්ධතිය නිර්මාණය කිරීමට ද මේ වන විට රජය පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ විද්‍යා අංශය තුළින් මෙරටට මහඟු සේවයක් ඉටුකළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සිය වන ජන්ම දින සමරුව වෙනුවෙන් ඊයේ (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ජන්ම දින සැමරුම් උත්සවය අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මහා විද්වතෙකු වූ ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය සමඟ මෙරට උසස් අධ්‍යාපනයටත්, විද්‍යාවටත් මහඟු සහායක් ලබාදිය හැකි මානව සම්පතක් රටට අහිමි වූ බවයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය (AI Corner) විවෘත කිරීමද මේ හා සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
උත්සව ස්ථානයේ තැන්පත් කර තිබු ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ පිළිරුව විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ සියවන ගුණ සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.