හිඟුරක්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යුදගනාව ගම්මානයේ දී සැමියා විසින් උදැල්ලකින් පහරදී බිරිඳව ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්රදේශයේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිලාගේ ලසන්තා සඳමාලි නැමති 27 හැවිරිදි දෙදරු මවකි.
සැමියා විසින් බිරිඳට උදැල්ලෙන් පහරදෙන අවස්ථාවේ දී ඔවුන්ගේ දෙහැවිරිදි දරුවා ද සුළු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
අදාළ පුද්ගලයා විසින් ඝාතනය වූ කාන්තාවගේ පියාට ද උදැල්ලෙන් පහරදී ඇති අතර, ඔහු ද බරපතළ තත්ත්වයෙන් මැදිරිගිරිය මුලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා තිබේ.
ඝාතනය සිදුකළ මියගිය කාන්තාවගේ සැමියා මැදිරිගිරිය ප්රදේශයේ සැඟව සිටිය දී හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, හිඟුරක්ගොඩ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් අදාළ පුද්ගලයා විසින් එම කාන්තාවට උදැල්ලෙන් පහරදී ඇති අතර, ඇය එම ස්ථානයේ දීම මියගොස් තිබේ.
අදාළ කාන්තාවගේ මියයෑම සම්බන්ධයෙන් අසල්වැසියන් බොහෝ සේ කම්පාවට පත්ව ඇති අතර, ඒ පිළිබඳ ඔවුන් මෙලෙස අදහස් පළ කළේය.
“මම කඩේ ගිහින් එද්දි මේ ගෙදර අක්කා කිව්වා සුදු අයියලාගේ ගෙදරට යන්න අක්කා. සුදු අයියටයි, සඳුටයි දෙන්නටම කොටලා සඳුගේ මිනිහා ඇවිල්ලා කියලා. මම දුවගෙන එනකොටත් ඒ අයියා මෙතෙන වැටිලා. කල්පනාව නෑ. එයත් ලේ ගලාගෙන තමා හිටියේ. එයාට ගොඩක් අමාරුයි. දරුවා නම් ඉතින් එතකොටත් මැරිලා. මගේ දුවගේ වයස ඒ දරුවා.”
“මේ දෙවැනි දුව. ඒ ළමයා හරියට දුක්වින්ඳා. හතුරෙකුටවත් ඔය වගේ දෙයක් සිද්ධ වෙන්න එපා දෙයියනේ…”