පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක පවුල් 18,898කට අයත් පුද්ගලයින් 71,320 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ, රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වාර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවය.
ආපදාවට ලක්වු පවුල් 555කට අයත් පුද්ගලයින් 1,910 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 16ක රඳවා තිබේ.
එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 12කට පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 1,004ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව සඳහන්ය.
මේ අතර ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙම නිවේදනය අද සවස 3 දක්වා බලපැවැත්වෙන අතර එම රතු නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස එම සංවිධානය දැනුම්දීමක් ද සිදුකර තිබේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ, යක්කලමුල්ල, කඩවත සතර, ඉමදූව මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, මතුගම සහ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරැස්ස, හක්මන යන ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (09) සහ හෙට (10) දෙදින තුළ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු රජයේ පාසල් වසා දැමීමට පියවර ගෙන තිබේ.