දුම්රිය ප්රවේශපත්රයක් මුල්කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පානදුර දුම්රියපොළේ උප ස්ථානාධිපතිට සහ දුම්රිය සේවකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවූ පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය කියයි.
පහරකෑ දුම්රිය උප ස්ථානාධිපතිවරයා සහ සේවකයා ප්රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළු කර ඇත.
එම ගැටුමේදී ප්රවේශපත්ර අවලංගු කරන යන්ත්රය ද අස්ථාන ගතව ඇතැයි පොලීසිය කීය.
අත්අඩංගුවේ පසුවන සැකකාර තරුණයා අද (02) පෙරවරු 09:30ට පමණ පානදුර දුම්රිය ස්ථානයට කඩිමුඩියේ පැමිණ ඇති අතර කොළඹ දෙසට දුම්රියක් ගමන් ගන්නෙ කීයටදැයි ඔහු එහි සේවකයෙකුගෙන් විමසා තිබුණි.
ඔහු ප්රවේශපත්ර කවුළුවෙන් ප්රවේශපත්රයක් රැගෙන ඒමත් සමගම දුම්රිය පිටවී ඇති අතර පසුව ඔහු දුම්රිය සේවකයා සමග බහින්බස් වී පහරදී ඇති අතර ඒ සමගම සෙසු සේවකයක් දෙදෙනෙකුට ද එම පුද්ගලයාට පහර දීමට උත්සාහ කර ඇතැයි පොලීසිය කියයි.
එහිදී පහර කෑ එම පුද්ගලයා දුරකථන ඇමතුමක් දී පිරිසක් දුම්රිය ස්ථානයට ගෙන්වාගෙන උප ස්ථානාධිපතිවරයාට සහ සේවකයෙකුට පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සැලවීමත් සමගම එම ස්ථානයට ගිය පානදුර දකුණ පොලීසියේ නිලධාරීන් පහරදීමට සම්බන්ධ පිය පුතු දෙපළ අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්රිය සේවකයන් පහර දුන් බව සැකකාර පුතු පැවසීමෙන් අනතුරුව ඔහුව පොලිස් ආරක්ෂාව යටතේ පානදුර මූලික රෝහලේ අංක 01 එක වාට්ටුව වෙත ඇතුළු කළ බව පොලීසිය කියයි.
සැකකාර පිය පුතු දෙපළ පානදුර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.