සිය ඥාතීන්ගෙන් මගහැරී බස් රථයක අතරමං වූ කුඩා දරුවෙකු පිළිබඳව පුවතක් අද කිරුළපන ප්රදේශයෙන් වාර්තාවිය.
අදාළ කුඩා දරුවා ඥාතීන් පිරිසක් සමග කොළඹ කෞතුකාගාරය නැරඹීම සඳහා පැමිණ තිබේ.
කෙසේ වෙතත් මාර්ග අංක 138 බස් රථයක නැගී පැමිණි එම පිරිස කෞතුකාගාරය ආසන්නයේදී එම බස් නැවතුම්පොළෙන් බැස ඇත.
එහිදී ඔවුන්ට දරුවා මගහැරී ඇති අතර සිය ඥාතීන් බස් රථයෙන් බැස ඇති බව නොදත් දරුවා ධාවනය වෙමින් තිබූ බස් රථයේ මද දුරක් ගොස් ඇත.
අනතුරුව සිය ඥාතීන් බස් රථයෙන් නොමැති බව බව දැනගත් එම දරුවා හඬාවැටීමත් සමග බස් රථයේ සිටි මගීන් සහ කොන්දොස්තරවරයා එක්ව දරුවා කිරුළපන පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
කෙසේ වෙතත් කුඩා දරුවා මගහැරී ඇති බව වැටහුණු ඥාතීන් දරුවා සොයා බස් රථය ගිය මාර්ගයේ ඉදිරියට පැමිණීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඔවුන් කිරුළපන පොලිස් ස්ථානය වෙත පැමිණ දරුවා භාරගැනීමට කටයුතු කර ඇත.
බස් රථයේ ගමන්කළ මගීන්ගේ සහ කොන්දොස්තරවරයාගේ සැලකිලිමත්භාවය හේතුවෙන් සිදුවන්නට ගිය අනතුරක් මෙලෙස වැළකීගොස් තිබේ.
කුඩා දරුවන් සමග ගමන් බිමන් යාමේදී වැඩිහිටියන් ඔවුන් පිළිබඳව වඩා සැලකිළිමත් ලෙස කටයුතු කිරීමෙන් මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගත හැකිය.