පවතින වාතාවරණය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා පවසා සිටියේ, තව දින කිහිපයක් වර්ෂාව ලැබීමට නියමිත බවය.
නිවාස අවට පස් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි දෑ සිදුවිය හැකි බැවින් ජනතාවට සැලකිලිමත්වන ලෙස ද ඒ මහතා ජනාතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශ හරහා ඊයේ (03) මධ්‍යම රාත්‍රීයේ හමා ගිය තද සුළඟකින් ස්ථාන රැසක ගස් කඩා වැටී තිබේ.
වාද්දුව පොතුපිටිය පුෂ්පාරාම මාර්ගය හරහා ගසක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ධාවන කටයුතුවලට මෙන්ම විදුලි සැපයුමටත් දුරකථන සැපයුමටත් බාධා එල්ලවුණි.
මීට අමතරව පානදුර නගර සීමාවේ පානදුර කර්මාන්ත පුරයට පිවිසෙන මාර්ගයටත් විශාල ප්‍රමාණය ගසක් කඩා වැටී තිබුණි.
මේ හේතුවෙන් කර්මාන්ත පුරයට පිවිසෙන රථවාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන්නට සිදුවුණි
කෙසේවෙතත් කොළඹ නගරයේ අද (04) උදෑසන කාලයේ දක්නට ලැබුණේ වැසි රහිත කාලගුණයකි.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය පහව යාමත් සමග බොහෝ පිරිසක් බණ්ඩාරගම උයන්වත්ත වැවේ විනෝද වීම සඳහා ඊයේ පස්වරුවේ පැමිණ සිටින අයුරු දක්නට ලැබුණි.
කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදත්ත රණසිංහ මහතා පවසා සිටියේ, ගංවතුර තත්ත්වයක දී දියනෑමට යෑමෙන් වළකින ලෙසය.
“මේ වනවිට කුකුළේ ගඟ එක් දොරටුවක් සහ ලක්ෂපාන ජලාශයේ දොරටුවක් විවෘත වෙලා තියෙනවා. ගිං ගඟ, කළු ගඟ සහ වළවේ ගඟ පිටාර මට්ටමට පැමිණෙමින් පවතිනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ගංවතුර කියන්නේ සෙල්ලම් කරන්න,සෙල්ෆි ගහන්න, විනෝද වෙන්න තියෙන තත්ත්වයක් නෙමෙයි. තමන්ගේ ආරක්ෂාව බලාගෙන අනිත් අයගෙත් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න. තම තමන්ගේ වගකීම් ඉටුකරන්න. නිවාස පිටුපස ආපදා තත්ත්වයක් තියෙනවා නම් කාණු හා බෝක්කු අවහිර වී තිබෙනවා නම් ක්ෂණිකව ඇති වන ගංවතුර තත්ත්වයන් අවම කරන්න අපට සහයෝගය දක්වන්න.”