අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නව ආර්ථික ක්‍රමවේද සමග 2048 වනවිට දියුණු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී එය අත්‍යවශ්‍ය කරුණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එසේම ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ගුරුවරුන්ට හා ශිෂ්‍ය නායකයින්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (31) පෙරවරුවේ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවති තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
පාසල් සිසුන් අතර කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, සුරැකුම් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ කොටස් හුවමාරුව එක්වී මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.
ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් එම්.එම්. රණසිංහ, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජිව බණ්ඩාරනායක යන මහත්වරුන් අත්සන් තැබීය.
නුගවෙල මධ්‍ය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගමය පිහිටුවීමට අදාළ වරලත් සහතික පත්‍රය සහ රුපියල් ලක්ෂයක මුදල මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විදුහල්පති ධම්මික බණ්ඩාර මහතා වෙත පිළිගැන්වීය.
එසේම ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමට අදාළ දැනුම සම්පාදනය කෙරෙන ග්රන්ථ කට්ටලය ද ජනාධිපතිවරයා විසින් විෂයභාර ආචාර්ය අචිනි කණිටිවෙල මහත්මිය වෙත භාර දුන්නාය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
“2021, 2022 වසරවලදී කොවිඩ් වසංගතය වගේම ආර්ථික ගැටලු හේතුවෙන් අප බංකොළොත් රටක් බවට පත් වුණා. නමුත් රට බංකොළොත් භාවයෙන් මුදා ගැනීමේ වැඩපිළිවෙල මම දැන් ආරම්භ කර තිබෙනවා. එය අපේ ආණ්ඩුව සාර්ථකව සිදුකරන බව කිවයුතුයි.”
“අප නැවත රටක් ලෙස අගාධයට නොවැටී ඉදිරියට යන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. 20 වන ශතවර්ෂයේ මැද භාගයේ අනුගමනය කළ ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යනවාද එසේ නොමැති නම් අලුතින් සිතා අලුත් ගමනක් යනවාද කියා තීරණය කළ යුතුයි. අප පැරණි ක්‍රමයට අනුව ඉදිරියට ගියහොත් අපට එක තැන කැරකෙන්නවත් රටක් නැති වෙනවා. මොකද අද අප සිටින තැන විශාල ආගාධයක් තිබෙන බව අමතක නොකළ යුතුයි.”
“මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින පරපුරට එවැනි තත්ත්වයකට මුහුණදීමට අප ඉඩ නොතබන බවද කිව යුතුයි. එසේ නම් අප තාක්ෂණය සමඟ අලුත් ගමනක් යා යුතුයි. 21 වන සියවසේ තාක්ෂණික දියුණුව පිළිබඳ මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.”
“අප පාසල් අධ්‍යාපනය ලබන සමයේ එක ගමකට එක දුරකථනයක් වත් තිබුණේ නැහැ. නමුත් අද සෑම අයෙකුම අතේ ජංගම දුරකථනයක් තිබෙනවා. ඇතැම් අය ළග ජංගම දුරකථන දෙකක් තිබෙනවා. එය තමයි සිදුව තිබෙන වෙනස.”
“අප මෙම වෙනස සමඟ ඉදිරියට යන විට නවීන තාක්ෂණය රටට ගෙන ආ යුතුයි. ඒ සඳහා අප විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය සහ පර්යේෂණ ආයතන එම කටයුතු කරගෙන යනවා. ඒ අනුව රටට හඳුන්වාදෙන නව තාක්ෂණ ක්‍රමවේද අප තීරණය කළයුතුව තිබෙනවා. බ්ලොක්චේන් තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය, ජෙනොම් විද්‍යාව මේ සියල්ල සමඟ අප ඉදිරියට යා යුතුයි.”
“ඒ වගේම මෙම තාක්ෂණය ගමට ගෙන යා යුතුයි. මොකද අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන හඳුන්වාදෙන්නේ නව තාක්ෂණය නිවසටම ගෙන යාම සඳහායි. නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමේදී අප තව කරුණක් සිහියේ තබා ගත යුතුයි. තාක්ෂණය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ සියලු කටයුතු සඳහා මුදල් අවශ්‍ය වෙනවා. අප මුදල් පරිහරණය කරන සමාජයක්. ඒ වගේම අද එම මුදල් පරිහරණය කරන්නේ ඉතා විවෘත වෙළෙඳපොළක. මුදල් පරිහරණය අද ආණ්ඩුවකට පාලනය කරන්න බැහැ. අමෙරිකන් ආණ්ඩුවට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටවත් එය සිදු කළ නොහැකියි.”
“එදා ඩිජිටල් තාක්ෂණය තිබුණේ නැහැ. ලංකාවට අන්තර්ජාලය ලබා ගැනීම සඳහා මම අත්සන් තැබුවේ 1993 වසරේදී. ඒ වන තුරු මෙම කිසිඳු පහසුකමක් අපට තිබුණේ නැහැ. මෙම නව තාක්ෂණය සමඟ ඉතා සුළු වේලාවකදී අප ලෝකය සමඟ සම්බන්ධ වෙනවා.”
“ඒ වගේම තරගකාරි ආර්ථිකය තුළ දේශසීමා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොමැති මූල්‍ය ක්‍රමයක් තිබෙන්නේ. මෙය හොඳ හෝ නරක වුවත් අපට එය වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. අප මෙම සීමාවේ සිට කටයුතු කළයුතුයි. ලෝකයට අවශ්‍ය මුදල් අවසානයේ වෙළෙඳපොළෙන් ලබා ගන්නවා. බැංකුවලට අවශ්‍ය මුදල් බැංකුවලින් ලබා ගන්නවා. සමාගම්වලට අවශ්‍ය මුදල් කොටස් වෙළෙඳපොළෙන් ලබා ගන්නවා. ඒ අනුව මුදල් පරිහරණය සිදු වෙනවා.”
“මෙහි වැදගත්ම කරුණ වන්නේ මුදල්. පෞද්ගලික අංශය වගේම රජයත් තෝරාගනු ලබන්නේ මුදල් වෙළෙඳපොළයි. ඒ වගේම මහා භාණ්ඩාගාර බැඳුම්කර ලබා ගන්නවා. අද උත්සාහ කරන්නේ මෙම ක්‍රමවේදය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. අද අප මේ ආරම්භ කරන්නේ එහි එක කොටසක් පමණයි.”
“ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට. ඒ පිළිබඳ මම මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරනවා. ඒ සඳහා ගුරුවරු වගේම ශිෂ්‍ය නායකයන් පුහුණු කිරීම මෙන්ම බැංකු නිලධාරින්ගේ සහාය ලබා ගැනීමට ද කටයුතු කරනවා.”
“ඒ නිසා නවීන ක්‍රමවේද පිළිබඳව අප දැනුවත් විය යුතුයි. දැනුම ලබාදීම පමණක් නොවෙයි මුදල් පරිහරණය, සුරැකුම්පත් මේ සියල්ල ගමට ගෙන යා යුතුයි. ගමේ දක්ෂ පිරිසක් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුයි.”
“ඒ සමඟම අද ලෝකය එක වෙළෙඳපොළක්. ඒ සමඟ අප ද එක්විය යුතුයි. ඒ සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් ගණනාවකට අප අත්සන් තබනවා. සිංගප්පූරුව සමඟ මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය මැලේෂියාව, වියට්නාමය සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ජපානය වගේම නැගෙනහිර ආසියාව, අග්නිදික ආසියාව, ඕස්ට්‍රෙලියාව, නවසිලන්තය යන රටවල් සමඟ නව වෙළෙඳපොළට ප්‍රවේශ වීමට අපේක්ෂා කරනවා.”
“ඒ වගේම පහසුකම් ලබා ගැනීම පිළිබඳ අප යුරෝපා සංගමය සමග සාකච්ඡා කරනවා. තව සති දෙකකින් අමෙරිකාවේ කණ්ඩායමක් අප සමඟ සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙනවා. එසේනම් ගෝලීය වෙළෙඳපොළ සහ එම ගිවිසුම් පිළිබඳව අප දැනුවත් විය යුතුයි.”
“අප ගොඩනඟන නව ආර්ථිකය “හරිත ආර්ථිකයක්”. ඒ වගේම “ඩිජිටල් ආර්ථිකයක්” හරිත ආර්ථිකයෙත් සුරකුම්පත් තිබෙනවා. එසේ නම් මෙහි තිබෙන්නේ නව ක්‍රමවේදයක්. මේ සමග අක්වෙරළ ආර්ථිකයක් පිළිබඳව ද අප අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳවත් දැන් ලන්ඩන් නුවර විශේෂ නීතිඥ සංගම් සමඟ සාකච්ඡා කරමින් එම නීති සකසමින් තිබෙනවා. අප මෙම නව ආර්ථික ක්‍රම සමඟ ඉදිරියට යනවා ද, නැත්නම් ආගාධයේම සිටිනවා ද කියා තීරණය කළ යුතුයි.”
“මෙම වැඩසටන සඳහා දැනට පාසල් 100ක් පමණයි තෝරගෙන තිබෙන්නේ. පසුව එම සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. කොටස් වෙළෙඳපොළට, ඒ වගේම සුරැකුම්පත් විනිමය කොමිෂමට හැකියාවක් තිබෙනවා නම් මේ සමඟ තවදුරටත් සම්බන්ධ වෙන්න මම එය අගය කරනවා. මෙම සංගමයක්, දෙකක් භාරගෙන එම සහාය ලබා දෙන්න කියා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.”
“මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 10ක් ලබා දී තිබෙනවා. ඒ අනුව සෑම පාසලකටම රුපියල් ලක්ෂය බැගින් හිමි වෙනවා. ඒ හැර වෙන කිසිඳු මුදලක් මේ සඳහා යොදවන්න එපා කියා මම ඉල්ලා සිටිනවා. මෙය ලක්ෂයට සීමා කරන්න. මෙය ආරම්භ කර වසරක් ගතවීමෙන් පසු කුමන පාසලද මෙම වැඩසටන සාර්ථකවම ක්‍රියාත්මක කර තිබෙන්නේ කියා සොයා බලනවා.”
“වැඩසටහන සාර්ථකවම ක්‍රියාත්මක කළ පාසලේ ශිෂ්‍යයන් 10 දෙනෙක්ට සහ විෂයභාර ගුරුවරයාට සිංගප්පූරුවේ කොටස් වෙළෙඳපොළ පිළිබඳ දින කිහිපයක අධ්‍යයනයක් කිරීමට සිංගප්පුරු සංචාරයක් ලබා දීමට කටයුතු කරනවා.”