දිවයිනේ ප්‍රදේශ දෙකකින් මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධ තොරතුරු වාර්තා වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි.
පිරිමි පුද්ගලයා මිය ගොස් ඇත්තේ, ඊයේ (18) සවස දෙපිරිසක් අතර ඇතිවූ පෞද්ගලික අරවුලක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමක දී බව පොලීසිය වාර්තා කරයි.
මොරගහහේන, යකහළුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් පහර කෑමකට ලක් ව බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා 40 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ව සිටි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එමෙන්ම තවත් සැකකටයුතු මරණයක් වැලිකන්ද මුතුගල සෙවණපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
නිවසක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට වැලිකන්ද පොලීසියට ලද තොරතුරු මත එම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව සිය දියණිය, බෑනා, දරුවන් සහ බෑනාගේ මව සමඟ නිවසේ පදිංචිව සිට ඇත.
පසුගිය 17 වනදා රාත්‍රියේ බෑනා බීමතින් පැමිණ දියණිය සමඟ ඇති කර ගත් ආරවුලක් සම්බන්ධයෙන් විමසීමට යාමේ දී බෑනා විසින් ඇයව තල්ලුකර ඇති අතර, බියපත් වූ නිවසේ සිටි දියණිය සහ ඇගේ දරුවන් යාබද නිවසකට ගොස් තිබේ.
පසුව ඔවුන් අලුයම පොලිස් නිලධාරීන් සමඟ ගොස් නිවස පරීක්ෂා කිරීමේ දී සිය මව නිවසේ සාලයේ වැටි සිටිනු දැක ඇත.
එම නිසා නිවසේ සිටි 43 හැවිරිදි බෑනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (19) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැලිකන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.