ගිනි ගැනීමට ලක් වූ හෝමාගම – කටුවන ප්‍රදේශයේ රසායනික කර්මාන්තශාලාව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරන අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මේ බව සඳහන් කළා.
රජයේ රස පරීක්ෂකවරයාද මෙම කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීම සඳහා එම ස්ථානයට පැමිණීමට නියමිතයි.
පෙරේදා රාත්‍රී 8.30 ට පමණ අදාළ කර්මාන්ත ශාලාවේ මෙම ගින්න හටගත් අතර එය මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවල මෙන්ම හොරණ ගිනි නිවීමේ ඒකකවලට අයත් රථ 7 ක් යොදා ගැනුණා.
පනාගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරින් සහ පොලිසියද ඒ සඳහා එක්වූ අතර, ගින්න නිවීමට පැය 3 කට අධික කාලයක් ගත වුණා.
මේ අතර හෝමාගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කර්මාන්තශාලාව නිරීක්ෂණයට ගොස් තිබූ අතර අවට ප්‍රදේශයේ ආවරණය නොකළ ළිංවල ජල සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යැවීමටයි කටයුතු කෙරුණේ.
ඒ සම්බන්ධයෙන් කර්මාන්තශාලාව අවට ගම්මානවල ජීවත්වන ජනතාව දැනුවත් කිරීම සඳහා කටයුතු කළ බවද හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කටුගම්පල ප්‍රකාශ කළා.